කාර්මික දෝෂයක් හේතුවෙන් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයට පාවි ආ ටග් යාත්‍රාව සහ බත්තල යථාතත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා සහය

‘Atulya’ නැමති බත්තල රැගත් ‘Avadh’ නමැති ටග් යාත්‍රාව මාලදිවයිනේ සිට ඉන්දියාව වෙත යාත්‍රා කරමින් තිබියදී, කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මන්නාරම දකුණ නඩුකුඩා වෙරළ ප්‍රදේශය වෙත 2023 ජූලි මස 07 වන දින පස්වරුව වන විට පාවී පැමිණ ඇති අතර, ඉන්දීය හා ඉන්දුනීසියානු ජාතික කාර්යය මණ්ඩලයේ නව දෙනෙකු ‍(09) ගෙන් සමංවිත එම ටග් යාත්‍රාව නැවත නිසි ක්‍රමවේදයකින් යුතුව යථාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මේ වන විට නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරනයෙන් සිදුකරනු ලබයි.

‘Avadh’ නමැති ටග් යාත්‍රාවේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් එම ටග් යාත්‍රාව සහ බත්තල ශ්‍රී ලංකාවේ වයඹ මුහුදු ප්‍රදේශයට පාවී එන බවට, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය (MRCC Chennai) මඟින්, කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත 2023 ජුලි මස 06 වන දින දැනුම් දීමක් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි, කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය මඟින්, ආපදාවට පත් ‘Avadh’ ටග් යාත්‍රාවේ මෙහෙයුම් සමාගම වෙත සිද්ධිය දැනුම්දී, අයහපත් කාලගුණික තත්වය හමුවේ ශ්‍රී ලංකාව දෙසට පාවී එන ආපදාවට පත් ටග් යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා එහි දේශීය නියෝජිතයා මඟින් වෙනත් ටග් යාත්‍රාවක් යොමු කරන ලෙස දැනුම් දීමක් සිදුකෙරිණි.

මුහුදේ පවත්නා රළු ස්වභාවය සහ සුළං තත්වය හමුවේ ආපදාවට පත් ටග් යාත්‍රාව සහ බත්තල, 2023 ජුලි මස 07 වන දින පස්වරුව වන විට ශ්‍රී ලංකාවට වයඹ දෙසින් මන්නාරම දකුණ නඩුකුඩා වෙරළ ප්‍රදේශයට පාවී පැමිණ ඇති අතර, එම ටග් යාත්‍රාව නැවත යථාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මේ වන විට කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරනයෙන් සිදුකෙරෙමින් පවතියි.

තවද, මෙම ටග් යාත්‍රාවේ කාර්යය මණ්ඩලය වෙත අවශ්‍ය සහය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සූදානමින් සිටින අතර, ටග් යාත්‍රාව සහ බත්තල මේ වන විට ස්ථානගතව ඇති වෙරළ ප්‍රදේශය පිළිබඳවද නාවික හමුදාව විශේෂ අවධානයකින් කටයුතු කරනු ලබයි.