මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව හා එක්ව 2023 ජුලි මස 08 වන දින රාත්‍රියේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු (15) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානය මඟින්, 2023 ජුලි මස 08 වන දින ‍රාත්‍රියේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී, අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී, යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු (15) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් පහළොස් දෙනා (15) කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 12 ක් සමඟ ඉන්දීය ධීවරයින් 74 ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇති අතර, මෙරට සාගර පරිසරයේ ආරක්ෂාව සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.