නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, පෙරිය අරිච්චාල් දූපත් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 14 වන දින රාත්‍රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය තිහක (530) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2023 ජුලි මස 14 වන දින රාත්‍රී කාලයේ කල්පිටිය, පෙරිය අරිච්චාල් දූපත් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කුඩා යාත්‍රා යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාව තුළ නීති විරෝධි ලෙස රැගෙන එමින් තිබූ උර දහසයක (16) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රැම් පන්සිය තිහක (530) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ එම ඩිංගි යාත්‍රාව (01) සහ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 ක් සහ 44 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් දෙදෙනා (02), බීඩි කොළ කිලෝග්‍රැම් පන්සිය තිහක (530) පමණ තොගය (තෙත බර සහිත) සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.