රුපියල් මිලියන 54 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙත්තලකේනි වත්තිරායන් මුහුදු ප්‍රදේශයේදී අද දින අළුයම (2023 ජුලි 23) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 165 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම වෙත්තලකේනි ආයතනය මඟින් අදි දින අළුයම (2023 ජුලි 23) වෙත්තලකේනි වත්තිරායන් මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී එම ඩිංගි යාත්‍රාවේ තිබී පාර්සල් හැත්තෑ පහක (75) අසුරන ලද, කේරළ ගංජා කිලෝ 165 ග්‍රෑම් 400 ක පමණ තොගයක් සමඟ එම සැකකරු (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 54 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 36 ක් වන සැකකරු වෙත්තලකේනි, මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01), කේරළ ගංජා කිලෝ 165 ග්‍රෑම් 400 ක පමණ තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනි පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.