බීඩි කොළ කිලෝග්‍රෑම් 606 ක පමණ තොගයක් කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කළපුවට අයත් මට්ටතිව් දූපත ආශ්‍රිතව 2023 ජුලි මස 24 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කිලෝග්‍රෑම් 606 ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2023 ජුලි මස 24 වන දින රාත්‍රියේ කල්පිටිය කළපුවට අයත් මට්ටතිව් දූපත ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් හට ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන උර දහනවයක් (19) තුල අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 606 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.