නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 551 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04 ක් කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කළපුවේ මට්ටතිව් දූපතට අසල මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 11 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කලපුව ඔස්සේ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් එකක (551) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය කළපුවේ මට්ටතිව් දූපත අසල මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 11 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රා දෙක (02) තුළ තිබී උර විසි එකක (21) අසුරන ලද නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් එකක (551) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ එම ඩිංගි යාත්‍රා දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 17 ත් 27 ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් සිව් දෙනා (04), ඩිංගි යාත්‍රා දෙක (02) සහ බීඩි කොළ පන්සිය පනස් එකක (551) පමණ තොගය (තෙත බර සහිත) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.