බීඩි කොළ කිලෝග්‍රෑම් 318 ක පමණ තොගයක් කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය සෙරක්කුලිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2023 අගෝස්තු මස 12 වන දින සිදුකල විශේෂ පාමුර සංචාරයක් හා සෝදිසි මෙහෙයුමක් මඟින්, එම වෙරළ ප්‍රදේශය‍ට පාවී ආ බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය දහඅටක (318) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය, තම්බපන්නි සහ ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය යන ආයතන එක්ව 2023 අගෝස්තු මස 12 වන දින කල්පිටිය සෙරක්කුලිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ පාමුර සංචාරක් හා සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ පාර්සල් නවයක් (09) තුල අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය දහඅටක (318) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නීතී විරෝධි ලෙස රැගෙන විත් නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිම‍ට රැගෙන ඒම‍ට නොහැකිව ජාවාරම්කරුවන් විසින් ‍මෙම බීඩි කොළ තොගය මෙලෙස සෙරක්කුලිය වෙරළ ප්‍රදේශයේ අතහැර දමන්නට ඇතැයි සැකකෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.