රුපියල් මිලියන 43 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 18 වන දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසීය තිහකට (130) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනය මඟින් 2023 අගෝස්තු මස 18 වන දින රාත්‍රී කාලයේ යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම ඩිංගි යාත්‍රාවේ තිබී උර තුනක (03) පාර්සල් හැට එකක (61) අසුරන ලද, කේරළ ගංජා කිලෝ එකසීය තිහයි (130) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හතළිස් තුනකට (43) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 44 ක් වන සැකකරු යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01), කේරළ ගංජා කිලෝ එකසීය තිහයි (130) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනි පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.