දකුණු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද දින (2023 අගෝස්තු 21) කටයුතු කෙරිණි.

කුඩාවැල්ල ධීවර වරායෙන් 2023 අගෝස්තු මස 17 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Sapna 08’ (ලියාපදිංචි අංක IMUL-A-1004 TLE) නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් දෙදෙනෙකු අතර ගැඹුරු මුහුදේදී සිදුවූ ගැටුමක් හේතුවෙන් එක් ධීවරයෙකුගේ ගෙල ප්‍රදේශයට කැපුම් තුවාල සිදුවී අසාධ්‍යව සිටින බවත්, එම ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා‍ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව එම බහුදින ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කෙරිණි. ඒ අනුව, අද දින (2023 අගෝස්තු 21) දකුණු මුහුදු ප්‍රදේශයේ දී අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා සමුද්‍රාරක්ෂා නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, එම ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් ගාල්ල වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.