නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය කල්ලරාව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 21 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 අගෝස්තු මස 21 වන දින සවස් කාලයේදී නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින් ත්‍රීකුණාමලය, කල්ලරාව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙහි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 44 ත් අතර වයසේ පසුවන පොඩුවකට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් අට දෙනා (08), ඩිංගි යාත්‍රා දෙක (02) සහ නීති වීරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලී ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.