නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 99 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලම කළපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම කලපුවේ, මට්ටතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 21 වන දින රාත්‍රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් අනූ නවයක (99) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් පුත්තලම කලපුවේ, මට්ටතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 21 වන දින රාත්‍රී කාලයේදී සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ තිබී නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ පාර්සල් තුනක (03) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රැම් 99 ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 23 ක් සහ 25 ක් වන සැකකරුවන් කල්පිටිය සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් දෙදෙනා (02), ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ කිලෝග්‍රැම් අනූ නවයක (99) පමණ තොගය (තෙත බර සහිත) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.