නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 2447 ක පමණ තොගයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම, පාලවිය, හලාවත සහ මීගමුව වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2023 අගෝස්තු මස 22 වන දින සහ අද දින (2023 අගෝස්තු 23) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ හා අතහැර දමන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හාරසීය හතළිස් හතක (2447) පමණ තොගයක් (තෙත බර සහිත), එක් සැකකරුවෙක් (01) සහ ලොරි රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා පුත්තලම පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව, 2023 අගෝස්තු මස 22 වන දින රාත්‍රී කාලයේ හලාවත මයික්කුලම වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ලොරි රථය තුල නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනයට සූදානම් කර තිබූ උර හතලිස් හයක (46) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හාරසිය හැටක (1460) පමණ තොගයක් සමඟ එම ලොරි රථය (01) සහ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 අගෝස්තු මස 22 වන දින උදෑසන මීගමුව, කම්මල වෙරළ හා මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන උර හා පාර්සල් ලෙස අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය පනහක (650) පමණ තොගයක් (තෙත බර සහිත) බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණී ආයතනය මඟින් ද, 2023 අගෝස්තු මස 22 වන දින සහ අද දින (2023 අගෝස්තු 23) පුත්තලම සින්නපාඩු සහ පෙරියපාඩු වෙරළ ප්‍රදේශයන්හී සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබී පාර්සල් දහයක (10) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය තිස් හතක (337) පමණ තොගයක් (තෙත බර සහිත) වයඹ නාවික විධා‍නයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් 2023 අගෝස්තු මස 22 වන දින හලාවත මයික්කුලම ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසුකර ගත් වයස අවුරුදු 51 ක් වන සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු සමඟ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හාරසියය හැටක (1460) පමණ තොගය සහ ලොරි රථය පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි. එමෙන්ම, මීගමුව කම්මල ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසීය පනහක (650) පමණ තොගය කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, පුත්තලම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය තිස් හතක (337) පමණ තොගය ඉදිරි නිතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.