නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 660 කට අධික තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, නොරොච්චෝලේ පොලිසිය හා එක්ව පුත්තලම, කරඹේ සන්ධිය මාර්ග බාධකයේදී 2023 සැප්තැම්බර් මස 03 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය හැටකට (660) අධික තොගයක් රැගත් ලොරි රථයක් සමඟ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය හා නොරොච්චෝලේ පොලිසිය එක්ව පුත්තලම, කරඹේ සන්ධිය මාර්ග බාධකයේදී, 2023 සැප්තැම්බර් මස 03 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කල්පිටිය සිට කුරුණෑගල බලා ධාවනය කරමින් තිබූ සැකකටයුතු ලොරි රථයක් නීරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී එම ලොරි රථය තුළ නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා පාර්සල් විසි හතරක (24) අසුරා තිබූ බීඩි කොළ කිලෝ හයසිය හැටයි (660) ග්‍රෑම් පන්සියයක (500) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ‍එම ලොරි රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට ක‍ටයුතු කෙරිණි.

තවද, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) , ලොරි රථය (01) සහ බීඩි කොළ කිලෝ හයසිය හැටයි (660) ග්‍රෑම් පන්සියයක (500) තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.