නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 13 ක් ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 සැප්තැම්බර් මස 14 වන දින සහ අද දින (2023 සැප්තැම්බර් 15) අළුයම් කාලයේ ත්‍රිකුණාමලය කොක්කඩි වෙරළ ප්‍රදේශයේ සහ ෆවුල් පොයින්ට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 සැප්තැම්බර් මස 14 වන දින අළුයම් කාලයේ නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනය මඟින් ත්‍රිකුණාමලය කොක්කඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, අද දින (2023 සැප්තැම්බර් 15) අළුයම් කාලයේ ශ්‍රී ලංකා නාවික තඨාකාංගණය මඟින් ත්‍රිකුණාමලය ෆවුල් පොයින්ට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා උපයෝගී කර ගනිමින් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 49 ත් අතර වයසේ පසුවන ත්‍රීකුණාමලය ඉල්ලන්කන්ති සහ කින්නියා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පුද්ගලයින් දහතුන් දෙනා (13) සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය සහ කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.