වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 13 ක් සමඟ සැකකරුවන් 05 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 19 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සූදානමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සහ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහතුනක් (13) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් 2023 සැප්තැම්බර් මස 19 වන දින මන්නාරම, සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහීදී, එම ඩිංගි යාත්‍රාවේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා පිටත්ව යාමට සූදානමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සහ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහතුනක් (13) සමඟ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 ත් 41 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් පස් දෙනා (05), ඩිංගි යාත්‍රාව (01) සහ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහතුන (13) ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.