රුපියල් මිලියන 15 කට අධික දළ විථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු දෙහිවලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය හා එක්ව, දෙහිවල ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින සන්ධ්‍යා කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 01 ග්‍රෑම් 10 ක පමණ ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නාවික හමුදාව, මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා නිරන්තර දායකත්වය දක්වනු ලබයි. ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය හා එක්ව 2023 සැප්තැම්බර් මස 27 වන දින සන්ධ්‍යා කාලයේ දෙහිවල ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ පිහිටි සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම සැකකටයුතු නිවස තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 01 ග්‍රෑම් 10 ක පමණ ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 15 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරු (01) සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 10 ක පමණ ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.