නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 ඔක්තෝබර් මස 02 වන දින රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේ සහ එරක්කණ්ඩි ප්‍රදේශයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රාවක් (01), ලොරි රථයක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 ඔක්තෝබර් මස 02 වන දින රාත්‍රී කාලයේ නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනය මඟින් ත්‍රිකුණාමලය නෝර්වේ දූපත ඉදිරි මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එලෙසම, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් 2023 ඔක්තෝබර් මස 02 වන දින රාත්‍රී කාලයේ එරක්කණ්ඩි ප්‍රදේශයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කි‍ලෝ ග්රූම් 105 ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් (01) සමඟ එක් පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 23 ත් 47 ත් අතර වයසේ පසුවන වේල්ලේමනල්, කින්නියා සහ එරක්කණ්ඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, ත්‍රිකුණාමලය නෝර්වේ දූපත ඉදිරි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හය දෙනා (06), ඩිංගි යාත්‍රාව (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා මුතූර් ධීවර පරීක්ෂක කාර්යාලය වෙතත්, එරක්කණ්ඩි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරු (01) සහ ලොරි රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙතත් භාර දීමට කටයුතු කෙරිණි.