නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 24 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ඔක්තෝබර් මස 05සහ 06 දෙදින ත්‍රීකුණාමලය සල්ලිමුණේ වෙරළ තීරය, වාකරේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ හා එම වෙරළ තීරයේ සහ යාපනය නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ වලංගු බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි හතර දෙනෙකු (24) සමඟ ඩිංගි යාත්‍රා නවයක් (09), කැබ් රථයක් කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2023 ඔක්තෝබර් මස 05 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා සහ රන්වැලි ආයතන එක්ව ත්‍රිකුණාමලය සල්ලිමුණේ වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද මත්සයින් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනය, වාකරේ ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව 2023 ඔක්තෝබර් මස 05 සහ 06 දෙදින වාකරේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ හා වාකරේ වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් දහතුන් දෙනෙකු (13) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 ඔක්තෝබර් මස 05 වන දින උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනය මඟින් යාපනය නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී වලංගු බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 50 ත් අතර වයසේ පසුවන කල්පිටිය, පනිච්චන්කේනි සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් විසි හතර දෙනා (24), ඩිංගි යාත්‍රා නවය (09), කැබ් රථය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය, වාකරේ ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.