ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව තවදුරටත් සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර, අකුරැස්ස, තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 ඔක්තෝබර් මස 04 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇති අතර, එම සහන කණ්ඩායම් අකණ්ඩව සහන මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් අද දින (2023 ඔක්තෝබර් 07) මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, අකුරැස්ස, තිහගොඩ සහ අතුරලිය යන ප්‍රදේශයන්හි ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ, එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සිදු කෙරිණි.