ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන සහන සේවා මෙහෙයුම් නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර, අකුරැස්ස, තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 ඔක්තෝබර් මස 04 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇති අතර, නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් නිරීක්‍ෂණය සඳහා අද දින (2023 ඔක්තෝබර් 08) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මාතර දිස්ත්‍රික්‍කයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට පිසූ ආහාර ලබාදීම සඳහා නාවික හමුදා ජංගම මුළුතැන්ගෙයක් සහිත ආපදා සහන රථයක් සහ කණ්ඩායමක් 2023 ඔක්තෝබර් මස 07 වන දින සිට අකුරැස්ස ගොඩපිටිය විහාරස්ථානයේ ස්ථානගත කර ඇති අතර, එමඟින් එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පිසූ ආහාර ලබාදීම අද දින (2023 ඔක්තෝබර් 08) උදෑසන සිට නාවික හමුදාව විසින් ආරම්භ කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් අකුරැස්ස ගොඩපිටිය විහාරස්ථානයේ ස්ථානගත කර ඇති ජංගම මුළුතැන්ගෙය සහ සහන කණ්ඩායම විසින් මහජනතාවට පිසූ ආහාර ලබාදීම සඳහා සිදුකරනු ලබන කටයුතු නිරීක්‍ෂණය කර, එම ක්‍රියාවලිය වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

තවද, නාවික හමුදාධිපති විසින් දකුණු ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් ස්ථානගතකර ඇති සහන කණ්ඩායම් මගින් ප්‍රදේශයේ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධීකරනය වෙමින්, ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාව වෙත අවශ්‍ය සහන කටයුතු උපරිම මට්ටමින් සහ අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසට, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ඇතුළු නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායම් වෙත වැඩිදුරටත් අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි.