නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයින් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේ 2023 ඔක්තෝබර් මස 10 වන දින රාත්‍රී කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් විදේශීය රටකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙන වියළි මුහුදු කූඩැල්ලන්, ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් දෙසිය හැත්තැ හතරකට (274) අධික තොගයක් සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, 2023 ඔක්තෝබර් මස 10 වන දින රාත්‍රී කාලයේදී වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබු සැකකටයුතු කැබ් රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, විදේශීය රටකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙන වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ දෙසිය හැත්තැ හතරයි (274) ග්‍රෑම් අටසියයක (800) පමණ තොගයක් සහ එම කැබ් රථය (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 37 ත් 41 ත් වයසේ පසුවන මන්නාරම සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් දෙදෙනා (02), වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ දෙසිය හැත්තැ හතරයි (274) ග්‍රෑම් අටසියයක (800) පමණ තොගය සහ කැබ් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.