මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඔක්තෝබර් මස 14 වන දින සවස් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය, ඩෙල්ෆ්ට් හා කච්චතිව් දූපත් අසල වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් විසිහත් දෙනෙකු (27) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2023 ඔක්තෝබර් මස 14 වන දින සවස් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද සහ උතුරු නාවික විධානයන් මඟින්, නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයන්ට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා, වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු (15) උතුරු මැද නාවික විධානය මඟින් සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට හා කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දොළොස් දෙනෙකු (12) උතුරු නාවික විධානය මඟින් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා පහ (05) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිහත් දෙනා (27) තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟින් නාවික හමුදාව විසින් 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 22 ක්‍ සහ ඉන්දීය ධීවරයින් 137 ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇත.