TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 කට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ගුරුනගර් ජැටිය ප්‍රදේශයෙහි අද දින (2023 ඔක්තෝබර් 17) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට (01) අධික ප්‍රමණයක් සමඟ සේවා නූල් අඩි තුනයි (03) අඟල් හතරක (04) පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් අද දින (2023 ඔක්තෝබර් 17) යාපනය, ගුරුනගර් ජැටිය ප්‍රදේශයෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශය ආසන්නයේ පිහිටි, ලදු කැළෑවක් තුල සඟවා තිබූ සැකකටයුතු පාර්සලයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහීදී, එම පාර්සලය තුල සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි (01) ග්‍රෑම් නවසිය පනහක (950) පමණ ප්‍රමාණයක් සමඟ සේවා නූල් අඩි තුනයි (03) අඟල් හතරක (04) පමණ ප්‍රමාණයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, එම පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.