රුපියල් මිලියන 4728 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 210 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල සිට බටහිර දෙසට වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, අද දින (2023 ඔක්තෝබර් 22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල සූක්‍ෂම පරීක්‍ෂාවේදී , එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල රුපියල් මිලියන 4728 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 210 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය අද දින (2023 ඔක්තෝබර් 22) දෙවුන්දර ධීවර වරායේදී නාවික හමුදාධිපති විසින් නිරීක්‍ෂණය කිරීම සිදුකෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම‍ උදෙසා මෙරට සාගර කලාපය ආවරණය වන පරිදි ඉතා අවධානයෙන් යුතුව ආවේක්‍ෂණ කටයුතු සිදුකරනු ලබන නාවික හමුදාව, ඒ සඳහා මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදා බුද්ධි අංශය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ල සිට බටහිර දෙසට නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් 2023 ඔක්තෝබර් මස 20 වන දින සවස් කාලයේ එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ මෙම සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්‍ෂාව සඳහා දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

අද දින (2023 ඔක්තෝබර් 22) උදෑසන එම සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවේ සිදුකල සූක්‍ෂම පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල උර දොළහක් (12) තුල පාර්සල් එකසීය හැටක (160) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 179 ග්‍රෑම් 140 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සහ පාර්සල් විසි අටක (28) අසුරන ලද හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 296 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 210 ග්‍රෑම් 436 ක පමණ තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4728 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 27 ත් 53 අත‍ර වන දෙවුන්දර සහ කෝට්ටේගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, බහුදින ධීවර යාත්‍රාව, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 179 ග්‍රෑම් 140 ක පමණ තොගය සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 296 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ මැදිහත් වීමෙන් සියළුම බුද්ධි අංශ ඒකාබද්ධ කර පොදු අරමුණක් කරා මෙහෙයවීමෙන් සහ, විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන (Chairman of the Presidential Task Force to combat the use of poisonous and dangerous drugs) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නායකත්වය හා මඟ පෙන්වීම මත මෙවැනි සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබී ඇත.

එමෙන්ම, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 15,888 කට අධික දළ වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.