නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 05 ක් කල්පිටිය හා පුත්තලම කලපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ඔක්තෝබර් මස 20 සහ 21 දෙදින කල්පිටිය උච්චමුණිය කලපු ප්‍රදේශයේ සහ පුත්තලම සේරක්කුලිය කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් වලංගු බලපත්‍ර රහිතව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ සහ වලංගු බලපත්‍ර රහිතව ධිවර කටයුතු සිදුකල පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), මුහුදු කූඩැල්ලන් හත්සියය හතළිහක (740) පමණ තොගයක්, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2023 ඔක්තෝබර් මස 20 සහ 21 දෙදින වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය කලපුවේ උච්චමුණිය ප්‍රදේශයේ සහ පුත්තලම කලපුවේ සේරක්කුලිය ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු බලපත්‍ර රහිතව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ සහ වලංගු බලපත්‍ර රහිතව ධිවර කටයුතු සිදුකල පුද්ගලයින් පස්දෙනෙකු (05) සමඟ මුහුදු කූඩැල්ලන් හත්සිය හතළිහක (740) පමණ තොගයක්, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 27 ත් 38 ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් පස් දෙනා (05), ඩිංගි යාත්‍රා දෙක (02), මුහුදු කූඩැල්ලන් හත්සියය හතළිහක (740) පමණ තොගය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත සහ පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.