මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන පුද්ගලයින් 4 ක් තලෛයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම වැලිපර 3 ප්‍රදේශයේ 2023 ඔක්තෝබර් මස 21 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ එහි සිටි සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා හා ගජබා ආයතන එක්ව වෙරළබඩ මුර යාත්‍රා යොදවා තලෛයිමන්නාරම වැලිපර 3 ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු ධීවර බලපත්‍ර නොමැතිව එම මුහුදු ප්‍රදේශයේ රැඳී සිටිම සහ නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටක සිට මෙරටට අනවසර සංක්‍රමණිකයන් රැගෙන ඒමට සූදානම්ව සිටි බවට සැකපිට එම ඩිංගි යාත්‍රා දෙක (02) සමඟ එහි සිටි සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම සැකකරුවන් අවුරුදු 28 ත් 45 ත් අතර වයසේ පසුවන මන්නාරම පේසාලේ ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, ඩිංගි යාත්‍රා දෙක (02) සහ සැකකරුවන් සිව් දෙනා (04) ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරම පොලිසිය වෙත සහ මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.