රුපියල් මිලියන 4500 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

රාජ්‍ය බුද්ධි සේවාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව යොදවා දෙවුන්දර සිට දකුණු දෙසින් නාවික සැතපුම් 292 ක් පමණ (කිලෝමීටර් 540 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 4500 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, අද දින (2023 ඔක්තෝබර් 24) උදෑසන කොළඹ වරාය‍ට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ඒ අනුව, නාවික හමුදා බුද්ධි අංශය වෙත රාජ්‍ය බුද්ධි සේවාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව, විජයබාහු නෞකාව යොදවා දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 292ක් පමණ (කිලෝමීටර් 540 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් 2023 ඔක්තෝබර් මස 19 වන දින රාත්‍රියේ එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ මෙම සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාව නිරික්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී හෙරොයින් බවට සැකකෙරෙන උර නවයක් (09) සමඟ එම ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අද දින (2023 ඔක්තෝබර් 24) උදෑසන එම සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාව කොළඹ වරායට රැගෙනවිත් සිදුකල පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල උර නවයක් (09) තුල පාර්සල් දෙසියයක (200) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219 ග්‍රෑම් 634 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 219 ග්‍රෑම් 634 ක පමණ තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4500 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 30 ත් 48 ත් අත‍ර වන කුඩාවැල්ල, තිස්සමහාරාමය, කෝට්ටගොඩ සහ මාමඩල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, බහුදින ධීවර යාත්‍රාව සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219 ග්‍රෑම් 634 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාධිපති විසින් මෙම මෙහෙයුම සඳහා දායක වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ නාවික පුද්ගලයන් ඇමතීම අද දින (2023 ඔක්තෝබර් 24) එම නෞකාවේදී සිදුකෙරුණු අතර, එහිදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් වැටලීම සඳහා සිදුකල දායකත්වය සම්බන්ධයෙන් නෞකාවේ නැව් මුළුව වෙත සිය ප්‍රශංසාව පලකිරීමට කටයුතු කෙරිණි.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ මැදිහත් වීමෙන්, විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නායකත්වය හා මඟ පෙන්වීම මත මෙවැනි සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබී ඇත.

එමෙන්ම, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබන අතර, මෙවැනි ජාවාරම් සඳහා සහයෝගය දැක්වීම හෝ අනුබල දැක්වීමෙන් වළකින ලෙස නාවික හමුදාව ධීවර ප්‍රජාව වෙත අවධාරණය කර සිටියි.