රුපියල් මිලියන 54 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 06 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය තිස්හතක‍ට (137) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයට අයත් වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොද‍වා, 2023 නොවැම්බර් මස 06 වන දින රාත්‍රි කාලයේ එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ උර තුනක් (03) තුළ පාර්සල් පනස් හයක (56) අසුරන ලද, කේරළ ගංජා කිලෝ එකසිය තිස්හතයි (137) ග්‍රෑම් හතලිස් පහක (45) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන පනස් හතරකට (54) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 44ත් අතර වයසේ පසුවන පුනරින් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් තිදෙනා (03), කේරළ ගංජා කිලෝ එකසිය තිස්හතයි (137) ග්‍රෑම් හතලිස් පහක (45) පමණ ‍‍තොගය (තෙත බර සහිත) සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.