නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 නොවැම්බර් 09) සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල Pregabalin වර්ගයේ මත්පෙති පන්ලක්ෂ හැත්තෑ දහසක (570,000) තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ කුඩා යාත්‍රාවක් යොදවා, ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාව තුල ඇසුරුම් දහයක (10) තිබූ නීති විරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල Pregabalin වර්ගයේ මත්පෙති පන්ලක්ෂ හැත්තෑ දහසක ‍‍(570,000) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් හා 39 ක් වන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා (02) සහ මත්පෙති තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.