රුපියල් මිලියන 40 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය කරෙයිනගර් වෙරළේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් සාම්පලෝඩයි වෙරළ ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 20 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කැළෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය එකකට (101) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟින් 2023 නොවැම්බර් මස 20 වන දින අළුයම් කාලයේ කරෙයිනගර් සාම්පලෝඩයි වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කැළැවක් තුල සඟවා තිබූ සැකකටයුතු උර තුනක් (03) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උර තුනෙහි (03) පාර්සල් පනස් එකක (51) අසුරන ලද කේරළ ගංජා කිලෝ 101 ග්‍රෑම් 750 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හතළිහකට (40) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකරන තෙක් නාවික හමුදාව භාරයේ සුරක්ෂිතව තබා ඇත.