නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 20 වන දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් තුන්සිය අසු හතරක (1384) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 නොවැම්බර් මස 20 වන දින උදෑසන කාලයේදී උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් තාල්වුපාඩු නාවික අනුඛණ්ඩයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණ නාවිකයින් විසින් මන්නාරම, අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු බලපත් රහිතව එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් නව දෙනෙකු (09) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් තුන්සිය අසු හතරක (1384) පමණ තොගයක් සහ එම ඩිංගි යාත්‍රා තුන (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අවුරුදු 25 ත් 47 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් නව දෙනා (09), කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රා තුන (03) සහ මුහුදු කූඩැල්ලන් එක්දහස් තුන්සිය අසු හතරක (1384) පමණ තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.