නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් දූපත අසල මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 22 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑ හතක (477) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, ඉප්පන්තිව් දූපත අසල මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 22 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර 14 ක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම උර තුල අසුරන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය හැත්තෑ හතක (477) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිම‍ට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය හැත්තෑ හතක (477) පමණ තොගය (තෙත බර සහිත) ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.