පුත්තලම කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 04 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 දෙසැම්බර් මස 08 වන දින පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් එම මුහුදු ප්‍රදේශයේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං කිලෝ හතරකට (04) අධික ප්‍රමාණයක් සහිත පාර්සලයක් නාවික හමුදා භාරයට ගත් අතර, එම සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක්ද (01) එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව, පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදු ප්‍රදේශයේ, 2023 දෙසැම්බර් 08 වන දින සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ ගිල්වා තිබූ සැකකටයුතු පාර්සලයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම පාර්සලය තුල සූක්‍ෂම ලෙස අසුරා තිබූ රත්‍රං කිලෝ හතරකට (04) අධික ප්‍රමාණයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ජාවාරම් කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙම රත්‍රං තොගය පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස ගිල්වා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක්ද (01) එම මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 ක් සහ 35 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), රත්‍රං කිලෝ හතරකට (04) අධික ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව (01), ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.