නැගෙනහිර මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය, ෆවුල් තුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව අද දින (2023 දෙසැම්බර් 13) කටයුතු කෙරිණි.

දෙවුන්දර ධීවර වරායෙන් 2023 දෙසැම්බර් මස 05 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘සෙව්මිණි 3’ (ලියාපදිංචි අංක IMUL-A-0425 MTR) නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු ත්‍රීකුණාමලය, ෆවුල් තුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී හදිසියේ රෝගී තත්ත්වයට ලක්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 4445 වේග ප්‍රහාරක මුර යාත්‍රාව යොමු කෙරිණි. ඒ අනුව, පවත්නා රළු මුහුදු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, ප්‍රථමාධාර ලබා දෙමින් ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය මහ රෝහල වෙත යොමු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටී.