නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 17 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 දෙසැම්බර් මස 13 වන දින සිලාවතුර, මන්නාරම වංකාලේ, යාපනය කල්මුණේතුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සහ මීගමුව වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහහත් දෙනෙකු (17) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06), මුහුදු කූඩැල්ලන් හත්සියය හතළිස් තුනක (743) පමණ ප්‍රමාණයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2023 දෙසැම්බර් මස 13 වන දින වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීත්, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය මඟින් වංකාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීත්, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් කල්මුණේ තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීත් සහ බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් මීගමුව වෙරළ ප්‍රදේශයේත් සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ නීති විරෝධී ලෙස බලපත් රහිතව ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් දහ හත් දෙනෙකු (17), ඩිංගි යාත්‍රා හයක් (06), මුහුදු කූඩැල්ලන් හත්සියය හතළිස් තුනක් (743) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 25 ත් 61 ත් අතර වයසේ පසුවන මන්නාරම, වංකාලේ, මීගමුව, ත්‍රීකුණාමලය සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් දහහත් දෙනා (17), ඩිංගි යාත්‍රා හය (0‍6), මුහුදු කූඩැල්ලන් හත්සියය හතළිස් තුනක (743) පමණ ප්‍රමාණය සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර හා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත සහ මීගමුව හා මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරිණි.