නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 09 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, 2024 මාර්තු මස 08 වන දින සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2024 මාර්තු මස 08 වන දින උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟින්, යාපනය චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 45 ත් අතර වයසේ පසුවන මුලිතිව්, වෙල්ලන්පලාම් සහ පුදුමාතලන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් නව දෙනා (09), ඩිංගි යාත්‍රා පහ (05) සහ ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.