කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව 2024 මාර්තු මස 11 වන දින දහවල් කාලයේ කිලිනොච්චිය, උඩුත්තුරෙයි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකකට (01) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම, මරුදන්කේනී පොලිසිය හා එක්ව උඩුත්තුරෙයි ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම නිවසේ ගෙවත්තේ වළදමා තිබූ පාර්සලයක (01) අසුරන ලද කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 997 ක පමණ ප්‍රමාණයක් සමඟ එම නිවසේ හිමිකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් 798,800.00 පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වන උඩුත්තුරෙයි උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුදන්කේනී පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.