ගංජා මිශ්‍ර මදන මෝදක තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කැබිතිගොල්ලෑව සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව 2024 මාර්තු මස 25 වන දින සවස් කාලයේ මැදවච්චිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින් බලපත්‍ර රහිතව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර මදන මෝදක ඇසුරුම් නවසිය පනස් දෙකක (952) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය, කැබිතිගොල්ලෑව සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව, 2024 මාර්තු මස 25 වන දින සවස් කාලයේ මැදවච්චිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, එම ප්‍රදේශයේ සැකකටයුතු වෙළඳසැලක් පරික්ෂාවට ලක් කිරීමේදී, එම වෙළඳසැලේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර මදන මෝදක ඇසුරුම් නවසිය පනස් දෙකක (952) තොගයක් සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු (01) සහ ගංජා මිශ්‍ර මදන මෝදක තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කැබිතිගොල්ලෑව සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.