නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ 2024 මාර්තු මස 26 වන දින අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්දහස් එකසිය හැත්තෑ අටක (3178) පමණ තොගයක්, ඩිංගි යාත්‍රා පහක් (05) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 මාර්තු මස 26 වන දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බු‍වනෙක ආයතනයේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ කණ්ඩායමක්, සෙඩ්‍රික් ‍යාත්‍රා යොදවා මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා පහක් (05) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්දහස් එකසිය හැත්තෑ අටක (3178) පමණ තොගයක්, එම ඩිංගි යාත්‍රා පහ (05) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 52 ත් අතර වයසේ පසුවන මුලන්කාවිල්, වීරවිල් සහ නච්චිකුඩා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් දහසය දෙනා (16), මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා පහ (05) සහ කිම්දුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.