රුපියල් මිලියන 10 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් වැලිඔය ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 26 වන දින රාත්‍රී කාලයේ වැලිඔය, නිකවැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් විසි හතකට (27) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ රන්වැලි සහ ගෝඨාභය යන ආයතන, මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව වැලිඔය, නිකවැව ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැඳීසිටි පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී ඔහුගෙන් ලද තොරතුරු මත අලෙවි කිරීම සඳහා සූදානම් කර ලදු කැලෑවක් තුල සඟවා තිබූ පාර්සල් දහතුනක (13) අසුරන ලද කේරළ ගංජා කිලෝ 27 යි ග්‍රෑම් 185 ක පමණ ප්‍රමාණයක් සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දහයකට (10) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන වැලිඔය, නිකවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැලිඔය පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.