නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ වල්නාශක සහ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවෙකු කල්මුණේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 27 වන දින කල්මුණේ, නින්දවූර් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ වෙලඳසැලක් තුල නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායූ ආයතනය මඟින් කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව කල්මුණේ, නින්දවූර් ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී, එම ප්‍රදේශයේ වෙළඳසැලක් පරීක්ෂා කිරීමේදී, එහි නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ ග්‍රෑම් 100 ක බරින් යුත් වල්නාශක පැකට් දෙසිය පනහක් (250) සහ ග්‍රෑම් 10 ක බරින් යුත් කෘමිනාශක පැකට් හය සියය හැත්තෑ හයක (676) ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 60 ක් වන කල්මුණේ නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01), වල්නාශක සහ කෘමිනාශක තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අම්පාර කෘෂිකර්ම දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.