නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කජු සහ වියළි ඉඟුරු තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කන්කසන්තුරයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 අප්‍රේල් මස 08 වන දින කන්කසන්තුරය, අවල්සන්දි වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ඔස්සේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් තුළ තිබී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියළි කජු කිලෝග්‍රෑම් පනහකට (50) අධික තොගයක්, වියළි ඉඟුරු කිලෝග්‍රෑම් දෙසිය පහකට (205) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය මඟින් කන්කසන්තුරය, අවල්සන්දි ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ මාර්ගයක ගමන් ගත් සැකක‍ටයුතු ත්‍රීරෝද රථයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ත්‍රීරෝද රථයේ තිබී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බව‍ට සැක කෙ‍රෙන පාර්සල් පනහක (50) අසුරන ලද වියළි කජු කිලෝ 50 යි ග්‍රෑම් 05 ක තොගයක් සහ උර පහක (05) අසුරන ලද වියළි ඉඟුරු කිලෝ 205 යි ග්‍රෑම් 75 ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ත්‍රීරෝද රථය (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 ක් සහ 47 ක් වන මල්ලාකම් සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), වියළි කජු තොගය, වියළි ඉඟුරු තොගය සහ ත්‍රීරෝද රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.