කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගොඩබිමට රැගෙන එයි

පේදුරුතුඩුවේ සිට කිලෝමිටර් අනු එකක (91 Km) පමණ දුරින් වූ උතුරු මුහුදේදී එන්ජින් යන්ත්‍ර අක්‍රීයවීමෙන් ආපදාවට පත්ව ඉන්දීය මුහුදු තීරය දෙසට පාවෙමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක්, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් සොයා ගැනීමෙන් අනතුරුව, මෙරට බහුදින ධීවර යාත්‍රාවක ආධාරයෙන් මේවන විට ගොඩබිමට රැගෙන එමින් පවති.

ත්‍රීකුණාමලය කොඩ්බේ ධීවර වරායෙන් 2024 මාර්තු මස 22 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Kalpani' (ලියාපදිංචි අංක IMUL-A-2473 GLE) නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාව වෙතින් 2024 මාර්තු මස 28 වන දින සිට කිසිදු පණිවිඩයක් නොමැති බවත් එම බහුදින යාත්‍රාව තිබෙන ස්ථානය සොයා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත 2024 අප්‍රේල් මස 01 වන දින දැනුම් දීමක් සිදු කෙරිණි.

එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ‘Kalpani' නමැති බහුදින ධීවර යාත්‍රාව එහි එන්ජින් යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් ඉන්දියානු සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුල පාවෙමින් තිබෙන බව එම බහුදින යාත්‍රාවෙන් නිකුත් කෙරුණු ආපදා සංඥාව මඟින් (VMS distress alarm) අනාවරණය කරගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Chennai) දැනුවත් කර, එම මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ නියුතු ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවක් ආපාදාවට පත් ධීවර යාත්‍රාව සෙවීම සඳහා යොමු කෙරිණි. එම ඉන්දීය වෙරළාරක්‍ෂක යාත්‍රාව ආපදාවට පත් ධීවර යාත්‍රාව සොයා ගැනීමෙන් අනතුරුව, එම ධීවර යාත්‍රාව Sadewmi (IMUL-A-0820MTR) නමැති ධීවර යාත්‍රාවේ ආධාරයෙන් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතී.

එමෙන්ම, එලෙස ඇදගෙන එමින් සිටියදී ‘Kalpani' යාත්‍රාවේ සිටි ධීවරයෙකු හදිසියේ රෝගී වී ඇති බව 2024 අප්‍රේල් මස 05 වන දින එම යාත්‍රාව පරීක්‍ෂා කල ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකාවක් වෙත දැනුම්දී ඇති අතර, එහිදී ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හෙලිකොප්ටර් යානාවක් මඟින් රෝගී වූ ධීවරයා හදිසි ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ex- Rela Hospital, Chrompet වෙත එදින (2024 අප්‍රේල් 05) ඇතුලත් කිරිමට කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කෙරුණු අතර, මේ වන විට ගොඩබිමට ඇදගෙන එනු ලබන ‘Kalpani' බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් නාවික හමුදාව අවධානයෙන් සිටියි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ පමණක් නොව යාබද සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් කලපයන් තුලද ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.