නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 08 ක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, නගරකෝවිල් මුහුදු ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 08 වන දින උදෑසන කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් පන්සිය හතළිහක (540) පමණ තොගයක්, ඩිංගි යාත්‍රා හතරක් (04) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 08 වන දින උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීමට අයත් මාමුනෙයි සහ නගරකෝවිල් නාවික අනුඛණ්ඩ මඟින්, නගරකෝවිල් මුහුදු ප්‍රදේශයේ සහ නගරකෝවිල් වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් පන්සිය හතළිහක (540) පමණ තොගයක්, ඩිංගි යාත්‍රා හතරක් (04) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 27 ත් 60 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් අට දෙනා (08), මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා හතර (04) සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.