රුපියල් මිලියන 3798 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133 ක් පමණ (කිලෝමීටර් 246 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක 'සමුද්‍රාරක්ෂා' නෞකාව යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 3798 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 179 ග්‍රෑම් 906 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 83 ග්‍රෑම් 582 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ එම මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගැනීමට පැමිණි බවට සැකකෙරෙන මෙරට එක්දින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) 2024 අප්‍රේල් මස 12 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම, 2024 අප්‍රේල් මස 13 වන දින ගාල්ල වරායේදී සිදු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සිදු කළ විශේෂ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව යොදවා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133 ක් පමණ දුරින් වූ (කිලෝ මීටර් 246 ක් පමණ) දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවෙහි (01) උර දහ හතක් (17) තුළ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අසුරා සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකපිට එම යාත්‍රාව, සැකකරුවන් හය දෙනෙකු (06) සමඟ 2024 අප්‍රේල් මස 12 වන දින සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට එක්දින ධීවර යාත්‍රාවක් සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් පරීක්ෂාවට ලක් කර, සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගැනීමට පැමිණි බවට සැක කෙරෙන එම එක්දින ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) ද එහිදී අත්අඩංගුවට ගැනීමට ක‍ටයුතු කෙරිණි.

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර දහ හතක් (17) ප්‍රවාහනය කළ බවට සැකපිට සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව 2024 අප්‍රේල් මස 13 දින ගාල්ල වරාය වෙත රැගෙනවිත් පරීක්ෂා කිරීමේදී, උර හතරක (04) පැකට් හැත්තෑ හයක (76) තිබූ හෙරොයින් කිලෝ 83යි ග්‍රෑම් 582 ක තොගයක් සහ උර දහතුනක (13) පැකට් එකසිය විසිනවයක (129) තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකසිය හැත්තෑ නවයයි (179) ග්‍රෑම් නවසිය හයක (906) තොගයක් (ඇසුරුම් බර සහිත) සොයා ගන්නා ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් හය දෙනා (06) සහ බහුදින ධීවර යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, මත්ද්‍රව්‍ය මුහුදේදී හුවමාරු කර ගැනීමට පැමිණි බවට සැකපිට සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් අත්අඩංගුවට ගත් එක්දින ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් සිව් දෙනාද (04) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 23 ත් 54ත් අත‍ර වයසේ පසුවන වැලිගම, ඉමදූව සහ ගාල්ල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 3798 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම මඟින් රුපියල් මිලියන 9300 කට අධික දළ වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.