රුපියල් මිලියන 05 ක පමණ දළ වීථි වටිනාකමින් යුත් හෙරොයින් සමඟ සැකකරුවන් 03 ක් වත්තලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව අද දින (2024 ජුනි 24) වත්තල ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් දෙසීයක (0.200) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) හා සැකකාරියක් (01) සහ ත්‍රීරෝද රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ වයඹ නාවික විධානය, කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව අද දින (2024 ජුනි 24) වත්තල ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ත්‍රීරෝද රථයක් නිරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදනම් කර එම ත්‍රීරෝද රථයේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් දෙසීයක (0.200) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) හා සැකකාරියක් (01) සහ එම ත්‍රීරෝද රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන පහක් (05) පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරිය වයස අවුරුදු 26 ත් 48 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කොළඹ ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් තිදෙනා (03), හෙරොයින් ග්‍රෑම් දෙසීයක (0.200) පමණ ප්‍රමාණය සමඟ ත්‍රීරෝද රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.