රුපියල් මිලියන 2572 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 191 කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් කොළඹ සිට නාවික සැතපුම් 120 ක් පමණ (කිලෝමීටර් 222 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 2572 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 191 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) 2024 ජුනි මස 24 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, අද දින(2024 ජුනි 26) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව පරික්ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් කොළඹ සිට නාවික සැතපුම් 120 ක් පමණ (කිලෝමීටර් 222 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර අටක් (08) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ එම බහුදින ධීවර යාත්‍රාව (01) 2024 ජුනි මස 24 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එලෙස නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව අද දින (2024 ජුනි 26) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් සිදුකල පරික්ෂාවේදී, නාවික හමුදා භාරයට ගත් එම උර අට තුළ (08) පාර්සල් 45 ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 48 ග්‍රෑම් 880 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සහ පාර්සල් 137 අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 142 ග්‍රෑම් 184 පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සොයාගත් අතර, එම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 2572 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකරුවන් වයස අවුරුදු 25 ත් 68 ත් අත‍ර වන හලාවත, ඉරණවිල සහ තොඩුවාව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, නාවික හමුදා භාරයට ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් හය දෙනා (06) සහ බහුදින ධීවර යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නායකත්වය හා මඟ පෙන්වීම මත, 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් මිලියන 15,782 කට අධික වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 කට ආසන්න තොගයක් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇත.

තවද, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන සහ ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිලිබඳ තොරතුරු නාවික හමුදාව වෙත සහ මෙරට නීතිය බලාත්මක කරනු ලබන ආයතනයන් වෙත ලබාදී, රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා සහය වන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කර සිටියි.