නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1713 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ 2024 ජුනි මස 28 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ ළදු කැලෑවක් තුළ සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1713 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, 2024 ජුනි මස 28 වන දින කල්පිටිය මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උර දහ හතරක් (14) තුළ තිබී අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය දහ තුනක (513) පමණ තොගයක් (තෙත බර සහිත) ද, නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුළ සැකකටයුතු ලෙස සඟවා තිබූ උර තිස් තුනක (33) තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීයක (1200) පමණ තොගයක් ද (තෙත බර සහිත) වශයෙන් බීඩි කොළ කිලෝග්‍රෑම් 1713 ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.