නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2888 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ අද දින (2024 ජුලි 08) සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් අටසියය අසූ අටක (2888) පමණ තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ කැබ් රථයක් සහ ලොරි රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව සහ තම්මැන්නා ආයතන, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව අද දින (2024 ජුලි 08) මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු කැබ් රථයක් සහ ලොරි රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම කැබ් රථයේ සහ ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් අසූවක (80) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් අටසියය අසූ අටක (2888) පමණ තොගයක්, සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම කැබ් රථය (01) හා ලොරි රථය (01) සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 ත් 30 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (03), බීඩි කොළ තොග‍ය, කැබ් රථය (01) සහ ලොරි රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා වංකාලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.