නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 355 කට අධික තොගයක් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2024 ජුලි මස 08 වන දින සහ අද දින (2024 ජුලි 09) කල්පිටිය කලපුවේ පෙරිය අරිච්චාල් දූපතේ සහ මන්නාරම පේසාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් තුන් සියය පනස් පහකට (355) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ට්‍රෝලර් යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය විසින් කල්පිටිය කලපුවේ පෙරිය අරිච්චාල් දූපතේ 2024 ජුලි මස 08 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ළඳු කැළෑවක සඟවා තිබූ උර 05 ක අසුරන ලද වියලි කහ කිලෝ 262 ග්‍රෑම් 300 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2024 ජුලි 09) මන්නාරම පේසාලෙ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කල තවත් සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ට්‍රෝලර් යාත්‍රාවේ තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් අනූ තුනක (93) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මන්නාරම පේසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 ක් සහ 52 ක් වන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදි.

තවද, කල්පිටිය කලපුවේ පෙරිය අරිච්චාල් දූපතේදී නාවික හමුදා භාරයට ගත් වියලි කහ කිලෝ 262 ග්‍රෑම් 300 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇති අතර, මන්නාරම පේසාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02), වියලි කහ කිලෝග්‍රෑම් අනූ තුනක (93) තොගය සහ ට්‍රෝලර් යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලෙ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.